රැකියා සහ සුභසාධන

රැකියා සහ සුභසාධන

රැකියා හා සුබසාධනය - හැදින්වීම

1985 අංක 21 දරණ පාර්ලිමේන්තු පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධව සියලු ක්‍රියාදාමයන් නියාමනය කරනු ලැබේ.

මෙම පනතට අනූව විදේශ ‍රැකියාවන් සදහාවූ ශ්‍රී ලාංකිකයන්ගේ සංක්‍රමණය විධිමත් හා ශක්තිමත් කිරීම හා රැකියා සදහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව හා සුබසාධනය තහවුරු කිරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මූලික පරමාර්ථයන්වේ.

කොරියානු රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රී ලංකික තාරුණ්‍යය හට කොරියානු ජන රජය තුල ‍රැකියාව සිදු කිරීමට අවස්ථා උදාවී තිබේ. 2004 වර්ෂයේදී ශ්‍රී ලංකාව සහා කොරියානු ජන රජය අතර අත්සන් කරන ලද ද්විපාර්ශවික ගිවිසුම මගින් පුළුල් වූ රැකියා හා සුබසාධන සබඳතාවන්හි ප්‍රතිපලයක් ලෙස වර්තමානයේදී 30,000 ට ආසන්න ශ්‍රී ලංකික ශ්‍රමික ප්‍රජාවක් නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර ක්ෂේත්‍රයන්හි සේවයේ නිරත වී සිටිනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හා ශ්‍රී ලංකා රජයේ අභිප්‍රායන් මුදුන් පත් කර ගනු වස් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධන අංශය මගින් ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවගේ ආරක්ෂාව සහා සුබ සාධනය හා සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීමට අදාල පහත සදහන් සේවාවන් මෙම අංශය මගින් ක්‍රියාත්මක කෙරේ.

රැකියා සහා සුබසාධනයට අදාල වන සේවා ක්‍රියාවලියන්

  • ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවගේ සුබසාධනය තහවුරු කිරීම හා ඔවුන් මුහුණපාන ගැටලුවලට අවශ්‍ය විසදුම් ලබාගැනීමට සහාය ලබාගත යුතු කොරියානු රජයේ හෝ රාජ්‍ය නොවන ආයතන එනම් කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යංශය, මානව සම්පත් සංවර්ධන ආයතනය, අධිකරණ අමාත්‍යංශය, ජාතික විශ්‍රාම වැටුප් සේවය, විදෙස් ශ්‍රමිකයන් හට උදව් ලබාදෙන උපකාරක මධ්‍යස්ථාන හා අනෙකුත් කොරියානු ආයතනයන් සමග සමීප සබදතාවයන් පවත්වාගෙන යාමට කටයුතු කිරීම හා අවශ්‍ය සහය ලබා ගැනීම.
  • කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය අලුත් කර දීමේ සේවාව ලබාදීම.
  • කොරියාවේ වෙසෙන හෝ සේවය නිම කර දැනට ලංකාවේ සිටින ශ්‍රමික ප්‍රජාව හා ඔවුන්ගේ ළගම ඥාතීන්ගෙන් ලැබෙන පැමිණිලි වලට විසදුම් ලබාදීමට කටයුතු කිරීම.
  • හදිසි අනතුරු හා රෝගාබාධයන් හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබාගන්නා ශ්‍රී ලාංකික ප්‍රජාව හට අවශ්‍ය උදව් උපකාර ලබාදීමට කටයුතු කිරීම.
  • බන්ධනාගාර, උසාවි, රැදවුම් මධ්‍යස්ථාන හා පොලිසි ආදී ස්ථාන වලට ගොස් එම ස්ථාන වල බන්ධනාගාර ගතවී හෝ නඩු වාරයන් සදහා රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කිරීම හා අධිකරණ නඩු කටයුතුවලදී අවශ්‍ය උපදේශමය සහයෝගයන් ලබාදීමට කටයුතු කිරීම.
  • බලාපොරොත්තු නොවූ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීටම සිදුවූ නීත්‍යානූකූලව කොරියාවේ ‍රැදී සිටින අයට අවශ්‍ය වන මුල්‍යමය සහයෝගයන් ලබාදීම.
  • සෞඛ්‍ය සහා අනෙකුත් තත්වයන් හේතු කොටගෙන කඩිනමින් ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය සහයෝගය ලබාදීම.
  • කොරියානු ජාතික විශ්‍රාම සේවයේ ප්‍රතිලාභ ලබාගැනීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දීම.
  • රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ පවතින රක්ෂණයන්හි රක්ෂණ ප්‍රතිලාභ හා වන්දි ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීම.
  • නවක රැකියාලාභින් ගුවන් තොටුපොලේදී පිළිගෙන ගුවන්තොටුපලේදී ආගමන හා රේගුවට අදාල කටයුතු සිදුකිරීමෙන් පසුව ඔවුන් කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නිලධාරීන් බාර ගන්නා තෙක් අවශ්‍ය කටයුතු සිදු කිරීම.
  • නවක රැකියාලාභීන්ව පුහුණු මධ්‍යස්ථානයේදීත් දැනට කොරියාවේ සේවය කරන ශ්‍රමික ප්‍රජාවට කොරියාවේ විවිධ ස්ථානවල දැනුවත් කිරීම් හා උපදේශන වැඩසටහන් පැවැත්වීම තුලින් ශ්‍රමික ප්‍රජාව හට කොරියාව තුල ජීවත්වීමේ හා රැකියා කිරීමේදී අවශ්‍ය වන තොරතුරු මෙන්ම ආරක්ෂාව හා වෘත්තිය තොරතුරු ලබාදීමට කටයුතු කිරීම.
  • කොන්සියුලර් හා රැකියා සුභසාධන ජංගම සේවාව සෝල් නගරයෙන් බැහැරවූ ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීම.
  • කොරියානු ව්‍යවසායකයින් ඇගයීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව හට රැකියා අවස්ථා ලබාදීම ඇගයීමට හා ප්‍රසංසාවට ලක් කිරීම තුලින් සේවා ප්‍රධානින් ධෛර්යමත් කිරීමත් ඔවුන් සමග හොද සම්බන්ධතාවක් ඇති කර ගැනීමෙන් ශ්‍රී ලංකාව පිලිබදව දැනුවත් කිරීම හා ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ ජිවන හා සේවය කිරීමේ තත්වයන් පිලිබදව නිසි අවබෝධයක් ලබාදීමටත් කටයුතු සිදු කිරීම.
  • කාර්මික හා අනෙකුත් අනතුරු වලට භාජනය වූ ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා අනෙකුත් අවශ්‍යතාවයන් ද වන්දි ලබාගැනීමේදී අවශ්‍ය සහයෝගයන් ද ලබාදීම. එමෙන්ම එම අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් කොරියානු රාජ්‍ය ආයතනයන් සමග සම්බන්ධව ක්‍රියා කිරීම.